කාච/ අක්ෂි දෝශ Flashcards
(30 cards)
කාචයකින් තැනෙන ප්‍රතිබිම්බවල පිහිටීම සඳහා භාවිතා කරණු ලබන ආලෝක කිරණ,
- කාචයේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන පරිදි කාචයට පතිතවන ආලෝක කිරණය නැවීමකින් තොරව ගමන් කරයි.
- කාචයේ ප්‍රධාන අක්ෂයට සමාන්තර ලෙස ගමන් කරමින් කාචය මත පතිතවන ආලෝක කිරණය, වර්තනයෙන් පසු එහි නාභිය හරහා හෝ නාභියෙහි සිට පැමිණෙන පරිදි ගමන් කරයි.
- කාචයේ නාභිය හරහා හෝ නාභියට එල්ල වන පරිදි පතිතවන ආලෝක කිරණය, කාචයේ වර්තනයෙන් පසු එහි ප්‍රධාන අක්ෂයට සමාන්තර ලෙස ගමන් කරයි.
උත්තල කාචයකින් තැනෙන ප්‍රතිබිම්බ වල ස්වභාවයන්,
වස්තුව අනන්තයේ ඇතිවිට,
- කාචයේ නාභි දුරට සාපේක්ෂව ඉතා විශාල දුරකින් වස්තුවක් තැබූ විට, එය අනන්තයේ තබන ලද වස්තුවක් ලෙස සලකනු ලැබේ.
- එවිට එමඟින් නිකුත්වන ආලෝක කිරණ කාචයේ ප්‍රධාන අක්ෂයට සමාන්තරගත වේ.
- මෙවැනි අවස්ථාවකදී ඉතාමත් කුඩා තාත්වික ප්‍රතිබිම්බයක් කාචයේ ප්‍රධාන නාභියෙහි සකස් වේ.
උත්තල කාචයකින් තැනෙන ප්‍රතිබිම්බ වල ස්වභාවයන්
වස්තුව 2f ට ඈතින් ඇතිවිට,
වස්තුවට වඩා කුඩා, තාත්වික, යටිකුරු ප්‍රතිබිම්බයක් කාචයේ අනිත් පැත්තෙහි f සහ 2f අතර තැනේ.
උත්තල කාචයකින් තැනෙන ප්‍රතිබිම්බ වල ස්වභාවයන්,
වස්තුව 2f හි ඇතිවිට,
- මෙම අවස්ථාවේදී කාචයේ අනෙක් පැත්තෙහි එහි ප්‍රකාශ කේන්ද්‍රයේ සිට 2f දුරකින් තාත්වික, යටිකුරු ප්‍රතිබිම්බයක් තැනේ.
- එම ප්‍රතිබිම්බයේ විශාලත්වය වස්තුවේ විශාලත්වයට සමාන වේ.
උත්තල කාචයකින් තැනෙන ප්‍රතිබිම්බ වල ස්වභාවයන්,
වස්තුව 2f සහ f අතර ඇති විට,
තාත්වික, වස්තුවට වඩා විශාල, යටිකුරු ප්‍රතිබිම්බයක් මෙම අවස්ථාවේදී කාචයේ අනෙක් පැත්තෙහි කාචයේ සිට 2f ට ඈතින් තැනේ.
උත්තල කාචයකින් තැනෙන ප්‍රතිබිම්බ වල ස්වභාවයන්,
වස්තුව නාභියෙහි ඇතිවිට,
- උත්තල කාචයක නාභියෙහි තබා ඇති වස්තුවකින් නිකුත්වන ආලෝක කිරණ කාචයේ වර්තනයෙන් පසු සමාන්තර ආලෝක කිරණ ලෙස නික්මේ.
- එබැවින් මෙම ආලෝක කිරණ අනන්තයේදී එකිනෙක හමුවන්නේයැයි සැලකිය හැකිය.
උත්තල කාචයකින් තැනෙන ප්‍රතිබිම්බ වල ස්වභාවයන්,
වස්තුව නාභිය සහ ප්‍රකාශ කේන්ද්‍රය අතර ඇති විට,
- වස්තුවෙන් නිකුත්වන ආලෝක කිරණ කාචයේ වර්තනයෙන් පසු අපසාරී ආලෝක කිරණ ලෙස නික්මේ.
- මෙම ආලෝක කිරණ ආපසු දිගු කළ විට එකිනෙක හමුවන්නේ වස්තුවට පිටුපස ස්ථානයකදීය.
- ඒ අනුව එම ස්ථානයේදී වස්තුවේ ප්‍රතිබිම්බය දැකගත හැකිය.
- මෙය වස්තුවට වඩා විශාල, උඩුකුරු ප්‍රතිබිම්බයක් වන අතර ආලෝක කිරණ සත්‍ය ලෙසම හමු නොවන නිසා එය අතාත්වික ප්‍රතිබිම්බයකි.
උත්තල කාචයක් ඉදිරියෙහි තබා ඇති වස්තුවක් අනන්තයෙහි සිට කාචයේ ප්‍රධාන නාභිය දක්වා ගෙන යන විට එහි ප්‍රතිබිම්බය වෙනස් වන්නේ කෙසේද?
තාත්වික, යටිකුරු ප්‍රතිබිම්බයක් එහි විශාලත්වය වැඩිකරගනිමින් කාචයෙහි අනෙක් පස එහි ද්විතීක නාභියෙහි සිට අනන්තය දක්වා ගමන් කරයි.
උත්තල කාචයක් ඉදිරියෙහි තබා ඇති වස්තුවක් කාචයේ ප්‍රධාන නාභියේ සිට එහි ප්‍රකාශ කේන්ද්‍රය දක්වා ගෙන යන විට එහි ප්‍රතිබිම්බය වෙනස් වන්නේ කෙසේද?
අතාත්වික, උඩුකුරු ප්‍රතිබිම්බයක් එහි විශාලත්වය අඩු කර ගනිමින් වස්තුවට පිටුපසින් අනන්තයෙහි සිට කාචයේ ප්‍රකාශ කේන්ද්‍රය දක්වා ගමන් කරයි.
උත්තල කාචයකින් සෑදෙන ප්‍රතිබිම්බ සහ අවතල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බ සංසන්දනය කරන්න.
- උත්තල කාචයක් ඉදිරියෙහි තබා ඇති වස්තුවකින් ප්‍රතිබිම්බ නිර්මාණය වීම, අවතල දර්පණයක් ඉදිරියෙහි තබා ඇති වස්තුවකින් ප්‍රතිබිම්බ නිර්මාණය වීමට සර්වසම ආකාරයට සිඳුවන අතර වෙනසකට ඇත්තේ ප්‍රතිබිම්බ නිර්මාණය වන පැත්තයි.
- අවතල දර්පණයෙහි තාත්වික ප්‍රතිබිම්බයක් නිර්මාණය වීම වස්තුව පවතින පැත්තෙහිම සිඳුවන අතර ,
- උත්තල කාචයක තාත්වික ප්‍රතිබිම්බ නිර්මාණය වීම සිදුවන්නේ වස්තුව පවතින පැත්තට විරුද්ධ පැත්තේය.
- එසේම අවතල දර්පණයක අතාත්වික ප්‍රතිබිම්බ නිර්මාණය වීම වස්තුව පවතින පැත්තට විරුද්ධ පැත්තෙහි සිදුවන නමුත් උත්තල කාචයක අතාත්වික ප්‍රතිබිම්බ නිර්මාණය වන්නේ වස්තුව පවතින පැත්තේම වස්තුවට පිටුපසිනි.
නව කාටිසියානු ලකුණු සම්මුතියට අනුව උත්තල කාචයක් සඳහා වස්තු දුර සහ ප්‍රතිබිම්බ දුර සහ නාභි දුර,
- උත්තල කාචයක් ඉදිරියෙන් තබා ඇති වස්තුවක් සඳහා වස්තු දුර සැමවිටම ධන අගයක් ගනී.
- සියළු තාත්වික ප්‍රතිබිම්බ සඳහා ප්‍රතිබිම්බ දුර ප්‍රමාණ සහ කාචයේ නාභි දුර සැමවිටම ඍණ අගයන් ගනී.
- එහෙත් එම වස්තුව සඳහා කාචය මඟින් තනනු ලබන සියළු අතාත්වික ප්‍රතිබිම්බ, වස්තුවට පිටුපසින් තැනෙන බැවින් එවැනි ප්‍රතිබිම්බ සඳහා ප්‍රතිබිම්බ දුර ප්‍රමාණ ධන අගයන් වේ.
අවතල කාචයකින් තැනෙන ප්‍රතිබිම්බවල පිහිටීම් සහ ස්වභාවයන්,
අවතල කාචයක් ඉදිරියෙහි ඕනෑම ස්ථානයක වස්තුවක් තැබූ විට එහි අතාත්වික, වස්තුවට වඩා ප්‍රමාණයෙන් කුඩා, උඩුකුරු ප්‍රතිබිම්බයක් වස්තුවට ඉදිරියෙන් වස්තුව පිහිටි පැත්තේම , කාචයේ නාභිය සහ ප්‍රකාශ කේන්ද්‍රය අතර සකස් වේ.
අවතල කාචයක් ඉදිරියෙහි තබා ඇති වස්තුවක් අනන්තයෙහි සිට කාචයේ ප්‍රකාශ කේන්ද්‍රය දක්වා ගෙන යන විට, එහි ප්‍රතිබිම්බය වෙනස්වන්නේ කෙසේද?
අතාත්වික, උඩුකුරු ප්‍රතිබිම්බයක් එහි විශාලත්වය වැඩිකරගනිමින් කාචයට ඉදිරියෙන් එහි නාභියෙහි සිට ප්‍රකාශ කේන්ද්‍රය දක්වා ගමන් කරයි.
නව කාටිසියානු ලකුණු සම්මුතියට අනුව අවතල කාචයක් සඳහා වස්තු දුර, ප්‍රතිබිම්බ දුර සහ නාභි දුර,
- අවතල කාචයක් ඉදිරියෙහි තබා ඇති වස්තුවක් සඳහා වස්තු දුර සැමවිටම ධන අගයන් ගනි.
- සියළු අතාත්වික ප්‍රතිබිම්බ සදහා ප්‍රතිබිම්බ දුර ප්‍රමාණ සහ කාචයේ නාභි දුර ධන අගයන් වේ.
ප්‍රතිබිම්බයක රේඛීය විශාලනය යනු කුමක්ද?
වස්තුවකින් නිකුත් කරන ආලෝක කිරණ කාචයක් මඟින් වර්තනය වීමෙන් තනනු ලබන ප්‍රතිබිම්භයක රේඛීය විශාලනය (M) යනුවෙන් අදහස් කරනුයේ ප්‍රතිබිම්බයේ උස, වස්තුවේ උසට දරණ අනුපාතයයි.
මෙය, ප්‍රතිබිම්බ දුරෙහි සංඛ්‍යාත්මක අගය ( l v l ), වස්තු දුරෙහි සංඛ්‍යාත්මක අගය ( l u l ) ට දරණ අනුපාතයට සමාන වේ.
M = l v l/l u l
කාච සූත්‍රය කුමක්ද?
කාචයක් සඳහා වස්තු දුර u, ප්‍රතිබිම්බ දුර v සහ කාචයේ නාභි දුර f නම්,
1/v - 1/u = 1/f
වස්තුවක් සහ තිරයක් අතර උත්තල කාචයක් තබා ඇති විට තිරය මත වස්තුවෙහි තාත්වික ප්‍රතිබිම්බයක් ලබා ගැනීම සඳහා වස්තුව සහ තිරය අතර පැවතිය යුතු අවම දුර කොපමණද?
වස්තුව සහ තිරය අතර පැවතිය යුතු අවම දුර කාචයේ නාභි දුරෙහි සිව් ගුණයට සමාන විය යුතුය.
කාචයක බලය යනු කුමක්ද?
කාචයකට එය තුලින් ගමන් කරන ආලෝකය කෙතරම් ප්‍රමාණයකට අපගමනය කළ හැකි ද යන්න ඉදිරිපත් කරන රාශිය එහි බලයයි.
නාභි දුර අඩු අගයක් ගන්නා කාච එතුලින් ගමන් කරන ආලෝකය වැඩි ප්‍රමාණයකින් අපගමනය කරයි. ඒ අනුව එවැනි කාචයකට වැඩි බලයක් ඇත.
සාමාන්‍යයෙන් කාචයක නාභි දුරෙහි පරස්පරය, එහි බලය ලෙස හඳුන්වනු ලැබේ. ඒ අනුව නාභි දුර f වන කාචයක බලය,
P = 1/f
කාචයක බලය මනිනු ලබන ඒකකය කුමක්ද?
කාචයක බලය මනිනු ලබන SI ඒකකය ඩයොප්ටර් වේ.
කාචයක නාභි දුර, මීටර් (m) වලින් යෙදූ විට එහි බලය, ඩයොප්ටර් (D) මඟින් ලැබේ.
ඒ අනුව 1 D = 1 m⁻¹
සංයුක්ත කාචයක බලය
කාච කිහිපයක් එකිනෙකට ස්පර්ශව තැබූ විට එම කාච පද්ධතිය, තනි කාචයක් ලෙස ක්‍රියා කරයි.
එම කාචයට කාච පද්ධතියෙහි සංයුක්ත කාචය යැයි කියනු ලැබේ.
එවැනි කාච පද්ධතියක එක් එක් කාචයේ බලවල වීජීය එකතුව, සංයුක්ත කාචයේ බලයට සමාන වේ.
ඇසක විදුර ලක්ෂ්‍යය යනු කුමක්ද?
විවේකීව පවතින අවස්ථාවේදී ඇසට දැකිය හැකි උපරිම දුරට අදාල ලක්ෂ්‍යය විදුර ලක්ෂ්‍යය නම් වේ.
නිරෝගී ඇසක විදුර ලක්ෂ්‍යය අනන්තය ලෙස සැලකේ.
මෙම අවස්තාවේදී අක්ෂි කාචයේ නාභි දුර, අක්ෂි ගෝලයේ දිගට සමාන වේ.
ඇසක අවිදුර ලක්ෂ්‍යය යනු කුමක්ද?
වස්තුවක් පැහැදිලිව දැකීම සඳහා එය තැබිය යුතු ඇසට ආසන්නතම ස්ථානයට ඇසේ අවිදුර ලක්ෂ්‍යය යයි කියනු ලැබේ.
ඇසේ සිට එම ලක්ෂ්‍යයට පවතින දුරට විෂද දෘෂ්ටියෙහි අවම දුර යයි කියනු ලැබේ.
නිරෝගී ඇසක විෂද දෘෂ්ටියෙහි අවම දුර 25 cm කි.
මෙම අවස්ථාවේදී ප්‍රතියෝජක පේශි හැකිලී පවතින අතර අක්ෂි කාචයේ නාභි දුර, අක්ෂි ගෝලයේ දිගට වඩා කුඩා වේ.
අවිදුර දෘෂ්ටිකත්වය යනු කුමක්ද?
ඉතා ඈත පවතින වස්තුවකින් නිකුත්වන සමාන්තර ආලෝක කිරණ ඇසේ දෘෂ්ටි විතානයට ඉදිරියෙන් නාභිගත වීම නිසා එම වස්තුව පැහැදිලිව දැකගත නොහැකි වීම අවිදුර දෘෂ්ටිකත්වයයි.
අවිදුර දෘෂ්ටිකත්වයට හේතුවන්නේ කුමක්ද?
ඇස විවේකීව පවතින විට අක්ෂි කාචයේ නාභි දුරට වඩා අක්ෂි ගෝලයේ විශ්කම්භය (දිග) වැඩිවීමයි.