..... Flashcards
(24 cards)
ජෝන් ඩෝල්ටන්ගේ පරමාණුක වාදය
පරමාණුව පිළිබඳ පළමු විද්‍යාත්මක මතවාදයයි. ප්‍රධාන කරුණු 4කි.
1. මූලද්‍රව්‍ය සෑදී ඇත්තේ පරමාණු යනුවෙන් හැඳින්වෙන අතිශයින්ම කුඩා තවදුරටත් බෙදිය නොහැකි අංශුවලිනි.
- යම් මූලද්‍රව්‍යයක සියලු පරමාණු ස්කන්ධයෙන් හා තරමින් එකිනෙකට සමාන වන අතර යම් මූලද්‍රව්‍යයක පරමාණු වෙනත් මුලද්‍රව්‍යවල පරමාණුවලින් එකිනෙකට වෙනස් වේ.
- රසායනික ප්‍රතික්‍රියාවලින් එක් මූලද්‍රව්‍යයක පරමාණු තවත් මූලද්‍රව්‍යයක පරමාණු බවට වෙනස් කළ නොහැක. එනම් පරමාණු මැවීමට හෝ විනාශ කිරීමට නොහැක.
- වෙනස් මූලද්‍රව්‍යවල පරමාණු 2ක් හෝ කිහිපයක් සරල සංඛ්‍යාත්මක අනුපාතවලින් සම්බන්ධ වීමෙන් සංයෝග ඇති වේ.
ඉහත කරුණූ මත පදනම්ව පරමාණුව පිළිබඳව පළමු ආකෘතිය වන ගොල්ෆ් බෝල ආකෘතිය ජෝන් ඩෝල්ටන් විසින් ඉදිරිපත් කරන ලදී.
කැතෝඩ කිරණ
වාතය හරහා විද්‍යුතය සන්නයනය කිරීමේ අරමුණින් විලියම් කෲක්ස් විසින් කෲක්ස් නළය (කැතෝඩ කිරණ නළය) නිපදවන ලදී.
කැතෝඩ කිරණ නළයට ඉතා ඉහළ වෝල්ටීයතාවයක් සපයා ඒ තුළ ඇති වාතය කොටසක් ඉවත් කර එහි පීඩනය ද අඩු කළ විට කැතෝඩයේ සිට ආරම්භ වී ඇනෝඩය දෙසට ගමන් කරන අදෘශ්‍යමාන කිරණ විශේෂයක් නිරීක්ෂණය වේ. මෙම කිරණ කිසියම් පෘෂ්ඨයක ගැටුණු විට යම් වර්ණයක්(බොහෝ විට කොළ) නිකුත් කරයි. මෙම කිරණ කැතෝඩයෙන් ආරම්භ වන නිසා ඒවා කැතෝඩ කිරණ ලෙස නම් කිරීම කෲක්ස් විසින් සිදු කරන ලදී. මෙම කිරණ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ J.J. Thomsan විසින් සිදු කෙරුණි.
තොම්සන්ගේ කැතෝඩ කිරණ පරීක්ෂණ
- කැතෝඩ කිරණ ගමන් මාර්ගයේ හබල් සකක් තැබීම.
නිරීක්ෂණය - හබල් සක භ්‍රමණය වෙමින් ඇනෝඩය දෙසට ගමන් කරයි.
නිගමනය - කැතෝඩ කිරණ අංශුමය වන බව/ කැතෝඩ කිරණවලට ගම්‍යතාවයක් සහිත බව/ කැතෝඩ කිරණ අංශුවලට කාර්යයක් කිරීමේ හැකියාව ඇති බව - a. කැතෝඩ කිරණ ගමන් මාර්ගයේ දෙපසින් චුම්භක ක්ෂේත්‍රයක් තැබීම.
නිරීක්ෂණය - කැතෝඩ කිරණ ක්ෂේත්‍රයට ලම්භකව සාමාන්‍යයෙන් ඍණ ආරෝපිත අංශුවක් අපගමනය වන දිශාවට අපගමනය වේ.
නිගමනය - කැතෝඩ කිරණ අංශු ඍණ ආරෝපිත වේ.
b. කැතෝඩ කිරණ ගමන් මාර්ගයේ දෙපසින් විද්‍යුත් ක්ෂේත්‍රයක් තැබීම.
නිරීක්ෂණය - කැතෝඩ කිරණ බාහිර ක්ෂේත්‍රයේ ධන ආරෝපිත තහඩුව දෙසට අපගමනය වේ.
නිගමනය - කැතෝඩ කිරණ ඍණ ආරෝපිත බව
- කැතෝඩ කිරණ ගමන් මාර්ගයේ පාරාන්ධ වස්තුවක් තැබීම
නිරීක්ෂණය - ඇනෝඩය දෙසින් තියුණු දාර සහිත සෙවනැල්ලක් ලැබීම
නිගමනය - කැතෝඩ කිරණ කැතෝඩයේ සිට ඇනෝඩය දක්වා සරල රේඛීයව ගමන් කරයි. - කැතෝඩ කිරණ නළයට විවිධ වායූන් පුරවා ලැබෙන කැතෝඩ කිරණවල e/m (ආරෝපණය/ස්කන්ධය) අනුපාතය සෙවීම.
නිරීක්ෂණය - ඕනෑම වායුවකට අදාළව ලැබෙන කැතෝඩ කිරණ අංශුවේ e/m අනුපාතය එකම අගයක් වීම. 1.76×10^8 C/g
නිගමනය - කැතෝඩ කිරණ අංශු ලෙස ලැබෙනුයේ ඕනෑම පදාර්ථයක් සඳහා පොදු ඍණ ආරෝපිත අංශු විශේෂයකි.
කලකට ඉහත දී ජොන්ස්ටන් ජී. ස්ටෝනි නම් දාර්ශනිකයා විසින් විද්‍යුතයේ මූලික අංශුව ඉලෙක්ට්‍රෝනය ලෙස නම් කරන ලදී. ඉහත සියලු පරීක්ෂණාත්මක දත්ත මත කැතෝඩ කිරණ අංශුව ලෙස තමා අනාවරණය කරගෙන ඇත්තේ ස්ටෝනි විසින් නම් කරන ලද eය වන බව තොම්සන් විසින් නිගමනය කරන ලදී. මේ අනුව eයට නම ලබා දීමේ ගෞරවය ස්ටෝනි හට හිමිවන අතර
eය සොයාගැනීමේ ගෞරවය තොම්සන්ට හිමි වේ.
කැතෝඩ කිරණ පිළිබඳ විශේෂ කරුණු
කැතෝඩ කිරණ කැතෝඩ පෘෂ්ඨයට ලම්භකව නිකුත් වේ.
කැතෝඩ කිරණවලට සිහින් ලෝහ තහඩු හරහා විනිවිද යාමේ හැකියාව ඇත.
කැතෝඩ කිරණ ඉහළ ස්කන්ධ ක්‍රමාංකයක් සහිත ලෝහවල ගැටීමෙන් X කිරණ නිපදවයි. (සොයාගැනීම - රොන්ජන්)
මිලිකන්ගේ තෙල් බින්දු පරීක්ෂාව
රොබට් A. මිලිකන් නම් විද්‍යාඥයා විසින් තෙල් බින්දු පරීක්ෂාව ආධාරයෙන් eයේ ආරෝපණය 1.602×10^−19 C බව සොයාගන්නා ලදී. එම අගය සහ e/m අනුපාතය ආධාරයෙන් ගණනය කිරීමක් සිදුකොට eයේ ස්කන්ධය සෙවිය හැක.
m ≈ 9.102×10^−28 g ≈ 9.102×10^−31kg
තොම්සන්ගේ ප්ලම් පුඩින් ආකෘතිය
eය අනාවරණය කරගැනීමෙන් පසු පරමාණුවේ ව්‍යුහය පැහැදිලි කිරීමට ගොල්ෆ් බෝල ආකෘතිය තවදුරටත් ප්‍රමාණවත් නොවන නිසා ඊට විකල්පයක් ලෙස තොම්සන් විසින් ප්ලම් පුඩින් ආකෘතිය ඉදිරිපත් කරන ලදී. මෙම ආකෘතියට අනුව පරමාණුව යනු ධන ආරෝපිත ඝන ගෝලයක් වන අතර එහි තැනින් තැන ගිලී ඍණ ආරෝපිත e පවතී. මෙය වියළි මිදි ගිල්වූ පුඩිමකට සමරූපී වේ.
ධන කිරණ පරීක්ෂණ
පදාර්ථයේ ධන ආරෝපණ පැවතීම එයුජීන් ගෝල්ඩ්ස්ටයින් විසින් ධන කිරණ පරීක්ෂණ ආධාරයෙන් අනාවරණය කරගන්නා ලදී. මේ සඳහා ඔහු සවිවර (විවර සහිත) කැතෝඩයක් භාවිත කරමින් කැතෝඩ කිරණ නාළ පරීක්ෂණ මෙහෙයවීමේ දී කැතෝඩයේ සිදුරුවලට පිටුපසින් සියුම් දිලිසුමක් ඇතිවනු නිරීක්ෂණය කරන ලදී. ඒවා සිදුරු තුළීන් පිටතට පැමිණීම නිසා ආරම්භයේ දී නාල කිරණ ලෙස හැඳින්වූ අතර පසුව මේවා ධන ආරෝපිත බව අනාවරණය වූ පසු ධන කිරණ ලෙස ද හඳුන්වන ලදී.
කැතෝඩ කිරණ හා ධන කිරණ හටගන්නා ආකාරය
කැතෝඩ කිරණ නළයේ පවතින අධික විභව අන්තරය නිසා කැතෝඩයේ එක්රැස්වන e අඩු පීඩනයක් ඇතිකළ විට කැතෝඩයෙන් නිකුත් වී ඇනෝඩය දෙසට වේගයෙන් ගමන් කිරීම අරඹයි. එසේ අධික වේගෙයෙන් ගමන් කරන e කැතෝඩ කිරණ නළය තුළ ඇති වායු අණු හෝ පරමාණුවල ගැටීමෙන් ඒවායින් e ඉවත් කරයි. එසේ අතරමැද දී සෑදෙන e හා ආරම්භයේ දී කැතෝඩයෙන් පිටවන e යන සියල්ල එක්ව කදම්භයක් ලෙස ඇනෝඩය දෙසට ගමන් කිරීම කැතෝඩ කිරණ හටගැනීම ලෙස හඳුන්වයි.
ඉහත පරිදි පරමාණුවලින් e ඉවත් වීමේ දී වායුමය ධන අයන සෑදේ. මෙම ධන අයන කදම්භයක් ලෙස කැතෝඩය දෙසට ගමන් කිරීමේ දී ධන කිරණ හටගනී.
උදාහරණ ලෙස O2 අන්තර්ගත පද්ධතියක් ගනිමු. (e* = අධිශක්ති e)
1. O2 ———> 2O (පරමාණුකරණය)
2. O ———-> O+ + e (අයනීකරණය)
3. e* + O2 ——–> 2O + e (පරමාණුකරණය)
4. e* + O ———-> O+ + 2e (අයනීකරණය)
1 හා 2 ප්‍රතික්‍රියා සිදුවන්නේ නළය තුළ ඇති අධික විභව අන්තරය නිසාවෙනි. 3 හා 4 ප්‍රතික්‍රියා සිදුවන්නේ අධිශක්ති e ගැටීම නිසාවෙනි.
ධන කිරණවල ගුණ
- අංශුමය වේ. (ගම්‍යතාවයක් සහිතය)
- ධන ආරෝපිත වේ.
- නළය අතරමැදින් හටගෙන සරල රේඛීයව කැතෝඩය දෙසට ගමන් කරයි.
- නළයට යොදා ඇති වායුව මත ලැබෙන ධන කිරණවල e/m අනුපාතය වෙනස් වේ.
ප්‍රෝටෝනය අනාවරණය කරගැනීම
කැතෝඩ කිරණ නළයට විවිධ වායූන් පුරවා ලැබෙන ධන කිරණවල e/m අගයයන් සංසන්දනයේ දී ඉහළම අගයක් ලැබෙනුයේ H2 භාවිත කළ විට ලැබෙන ධන කිරණ අංශුවෙන් බව නිරීක්ෂණය විය. එනම් අවම ස්කන්ධයක් සහිත ධන කිරණ අංශුව ලැබෙනුයේ H2 භාවිතා කළ විට විය යුතුය. තවද අනෙක් ධන කිරන අංශූන්ගේ ස්කන්ධයන් H2 භාවිත කළ විට ලැබෙන ධන කිරණ අංශුවේ ස්කන්ධයේ පූර්ණ සංඛ්‍යාත්මක ගුණාකාරවලට ආසන්නව සමාන වන බවත් වැඩිදුර පරීක්ෂණවලදී නිරීක්ෂණය කරන ලදී.
මෙම කරුණු මත පදනම්ව + ආරෝපණ සඳහා පදාර්ථයේ ඇති සරලතම අංශුව H2 භාවිත කළ විට ලැබෙන + කිරණ අංශුව බව අර්නස්ට් රදර්ෆර්ඩ් විසින් නිගමනය කරන ලදී. මෙම අංශුව ප්‍රෝටෝනය ලෙස ඔහු විසින් නම් කරන ලදී.
විකිරණශීලීතාවය
සොයාගැනීම - හෙන්රි බෙකරල්
අර්නස්ට් රදර්ෆර්ඩ් විකිරණශීලී ද්‍රව්‍යවලින් තුන් ආකාරයක විකිරණ නිකුත් වන බව පෙන්වා දුනි.
ඇල්ෆා (α) - හීලියම් න්‍යෂ්ටි(He²⁺) +2 - 4
බීටා (β) - e - -1- 0
ගෑමා (γ) - විද්‍යුත් චුම්භක තරංග - 0 - 0
වේගය - α < β < γ
විනිවිද යාමේ හැකියාව - α < β < γ
අයනීකාරක බලය - α > β > γ
රදර්ෆර්ඩ්ගේ රන්පත්/ ස්වර්ණපත්‍ර/ ඇල්ෆා අංශු ප්‍රකිරණ පරීක්ෂාව
ප්‍රෝටෝනය අනාවරණය කරගත් පසු පරමාණුව ගැන නව ආකෘතියක අවශ්‍යතාව මතුවිය. රදර්ෆර්ඩ්ගේ ප්‍රමුඛතාවෙන් ගයිගර් හා මාස්ඩන් යන විද්‍යාඥයින් විසින් මෙහෙයවන ලදී.
මෙහි දී ඇල්ෆා අංශු ප්‍රභවයකින් නිකුත් වන කිරණ ඉතා සිහින් රන් තහඩුවකට ගැටීමට සලස්වයි. තහඩුව තුළින් ගමන් කරන ඇල්ෆා අංශුවල ගමන් මාර්ගය ZnS ආලේපිත තිරයක් ආධාරයෙන් නිරීක්ෂණය කරයි. එසේ ගමන් කරන ඇල්ෆා අංශුවලින් බහුතරය සිය ගමන් මාර්ගයේ කිසිදු වෙනසකින් තොරව තහඩුව හරහා විනිවිද යන බවත්, සුළු ප්‍රමාණයක් සුළු කෝණ හෝ මහා කෝණවලින් අපගමනය වන බවත් අතිශය කලාතුරකින් 180කින් හැරී ආරම්භක මාර්ගයේම යළි ගමන් කරන බවත් නිරීක්ෂණය විය. මෙම නිරීක්ෂණ පැහැදිලි කිරීමේ අරමුණින් රදර්ෆර්ඩ් විසින් තම නව පරමාණුක ආකෘතිය ඉදිරිපත් කරන ලදී.
රදර්ෆර්ඩ්ගේ ග්‍රහ ආකෘතිය
මෙම ආකෘතියට අනුව පරමාණුවේ වැඩි ප්‍රදේශය හිස් අවකාශය වන අතර එහි ඇති + ආරෝපණ සියල්ල පරමාණුවේ මධ්‍යයෙහි ඇති න්‍යෂ්ටිය නම් ඉතා කුඩා ඝන ප්‍රදේශයකට ඒකරාශී වී ඇත. ඒ වටා ඇති කවචවල e ගමන් කරමින් පවතී.
පරමාණුව ගැන ප්‍රථම න්‍යෂ්ටික් ආකෘතිය රදර්ෆර්ඩ්ගේ ග්‍රහ ආකෘතිය යි. මේ අනුව පරමාණුවේ න්‍යෂ්ටිය සොයාගැනීමේ ගෞරවය ඔහුට හිමි වේ.
පරමාණුක අරය - 10^-10 m
න්‍යෂ්ටික අරය - (10^-14 – 10^-15) m
ග්‍රහ ආකෘතිය මගින් රන්පත් පරීක්ෂාවේ නිරීක්ෂණ පැහැදිලි කිරීම
1. ඇල්ෆා අංශු බහුතරය ගමන් මාර්ගයේ වෙනසකින් තොරව ගමන් කරයි.
ග්‍රහ ආකෘතියට අනුව පරමාණුවේ වැඩි ප්‍රමාණය හිස් අවකාශය වේ. එම ප්‍රදේශවලින්
ගමන් කරන ඇල්ෆා අංශුවල ගමන් මාර්ගයේ කිසිදු වෙනසක් සිදු නොවේ.
2. ඇල්ෆා අංශු සුළු ප්‍රමාණයක් සුළු කෝණවලින් හා මහා කෝණවලින් අපගමනය වී ගමන් කරයි.
පරමාණුව මධ්‍යයෙහි ධන ආරෝපිත කුඩා න්‍යෂ්ටියක් ඇත. ඒ අසලින් ගමන් කරන හෝ එහි පර්යන්තයෙහි ගැටෙන ඇල්ෆා අංශු න්‍යෂ්ටියෙන් ඇති කරන විකර්ෂණය නිසා සුළු කෝණ හෝ මහා කෝණවලින් අපගමනය වේ.
3. අතිශයින් කලාතුරකින් ඇල්ෆා අංශු 180කින් හැරී ගමන් කිරීම.
න්‍යෂ්ටියෙහි කේන්ද්‍රය එල්ල කරගෙන
පැමිණෙන ඇල්ෆා අංශු එහි ගැටී සිය ගමන් මග සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ දිශාවට හරවාගනී.
රදර්ෆර්ඩ්ගේ ආකෘතියේ අඩුපාඩු
ප්‍රෝටෝන සියල්ල විකර්ෂණය වීමකින් තොරව න්‍යෂ්ටිය තුළ පවතින්නේ කෙසේ ද යන්න විස්තර නොවීම.
න්‍යෂ්ටිය වටා ඇති e එයට ආකර්ෂණය වී ඒ අතට ඇද නොවැටෙන්නේ ඇයිදැයි විස්තර නොවේ.
නියුට්‍රෝනය අනාවරණය කරගැනීම
ස්කන්ධ භේද දර්ශකය අනාවරණය කරගත් පසු පරමාණුවල ස්කන්ධ මැනීමට විද්‍යාඥයන්ට හැකිවිය. එසේ සෙවීමේ දී පරමාණුවකට ලැබෙන් ස්කන්ධය ඒ තුළ අන්තර්ගත e & p වල ස්කන්ධ එකතුවට වඩා සැලකිය යුතු තරම් වෙනස් බව නිරීක්ෂණය විය. මේ අනුව පරමාණුවේ ස්කන්ධයට දායක වන නමුත් ආරෝපණයක් රහිත උපපරමාණුක අංශු විශේෂයක් පැවතිය යුතු බව නිගමනය විය. ඒ අනුව නියුට්‍රෝනය සොයාගැනීමට පරීක්ෂණ ඇරඹුනි.
ජේම්ස් චැඩ්වික් නම් විද්‍යාඥයා විසින් Be ලෝහ තහඩුවකට ඇල්ෆා අංශුවලින් පහර දුන් විට ස්කන්ධයක් සහිත අනාරෝපිත ප්‍රභේදයක් පිටවන බව නිරීක්ෂණය කරන ලදී.
ඉහත ක්‍රියාවලියේ දී සිදු වී ඇති ප්‍රතික්‍රියාව පහත පරිදිය.
⁹₄Be + ⁴₂He → ¹²₆C + ¹₀n
ඉහත කරුණු මත පදනම්ව මෙම පරීක්ෂණයේ දී නිකුත් වී ඇති අංශු විශේෂය නියුට්‍රෝන බව චැඩ්වික් විසින් නිගමනය කරන ලදී.
සමස්ථානික
පරමාණුක ක්‍රමාංකය සමාන නමුත් ස්කන්ධ ක්‍රමාංකය වෙනස් ප්‍රභේද සමස්ථානික නම් වේ.
හෝ
එකම ප්‍රෝටෝන ගණනක් සහිත නමුත් වෙනස් නියුට්‍රෝන ගණන් සහිත ප්‍රභේද/පරමාණු සමස්ථානික වේ.
යම් පරමාණුවක රසායනික ගුණ තීරණය වන්නේ එහි e වින්‍යාසය මත වේ. භෞතික ගුණ තීරණය වන්නේ ස්කන්ධ ක්‍රමාංකය මත වේ.
සමස්ථානිකවල ඇති e ගණන් සමාන නිසා ඒවායේ රසායනික ගුණ සමාන වේ. සමස්ථානිකවල ස්කන්ධ ක්‍රමාංක එකිනෙකට වෙනස් නිසා ඒවායේ භෞතික ගුණ එකිනෙකට වෙනස් ය.
J.J.Thomsan & William Aston යන විද්‍යාඥයින් විසින් ස්කන්ධ භේද දර්ශකයට නියෝන් වායුව පුරවා සිදුකළ පරීක්ෂණයක දී සමස්ථානික පළමුවරට අනාවරණය විය.
සමස්ථානික පිළිබඳ විශේෂ කරුණු
- ස්වභාවයේ ඇති බහුතරයක් මූලද්‍රව්‍යවලට සමස්ථානික පවතී.
- යම් පරමාණුවක ස්කන්ධ ක්‍රමාංකය සෑම විටම පූර්ණ සංඛ්‍යාත්මක වේ. නමුත් බහුතරයක් මූලද්‍රව්‍ය සතුව සමස්ථානික පවතින නිසා ඒවායේ මධ්‍යන්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය දශම අගයන් ද ගනී.
- යම් මූලද්‍රව්‍යයක සමස්ථානික ගත් විට බොහෝ විට ඉහළම ස්කන්ධ ක්‍රමාංකය ඇති සමස්ථානිකය විකිරණශීලී වේ.
විද්‍යුත් චුම්භක තරංග
එකිනෙකට ලම්භක තල 2ක කම්පනය වන විද්‍යුත් හා චුම්භක ක්ෂේත්‍ර ආධාරයෙන් එම තල 2කටම ලම්භක දිශාවකට ශක්තිය සම්ප්‍රේෂණය කරන තරංග වේ.
තරංගයක ලක්ෂණ
සංඛ්‍යාතය (f) - ඒකක කාලයක් තුළ සිදුකරන කම්පන වාර ගණන / ඒකක කාලයක් තුළ ඇතිකරන චක්‍ර ගණන
තරංග ආයාමය (λ) - තරංගයක අනුයාත ශීර්ෂ 2ක් අතර පරතරය / අනුයාත නිම්න 2ක් අතර පරතරය හෝ චක්‍රයක දිග
වේගය (V) - ඒකක කාලයක් තුළ තරංගයක් ගමන් කරන දුර වේ. පහත සම්බන්ධතාවෙන් ලබාගත හැක.
v=fλ
ඕනෑම විද්‍යුත් චුම්භක තරංගයක් රික්තයක දී එකම වේගයක් දරයි. එහි අගය c=3.0×10^8m/s වේ.
ශක්තිය (E) - තරංග ශක්තිය සම්ප්‍රේෂණය කරනුයේ සන්තතිකව නොව යම් ශක්ති අගයක් සහිත ශක්ති පැකට් සමූහයක් ලෙස බව ෆෝටෝනවාදයෙන් ඉදිරිපත් විය. මෙම ශක්ති පැකට් ෆෝටෝන/ක්වොන්ටා ලෙස හැඳින්වේ. තරංගයක ශක්තිය යනු එහි ෆෝටෝනයක ශක්තියයි. එය පහත පරිදි ගණනය කළ හැක.
E=hf
f = සංඛ්‍යාතය
h = ප්ලාන්ක් නියතය = 6.626×10^−34 J
H2 අවශෝෂණ වර්ණාවලිය
සුදු ආලෝකය ප්‍රිස්මයක් තුළින් ගමන් කිරීමේ දී රතු සිට දම් දක්වා වර්ණ සියල්ල අඩංගු සන්තතික වර්ණාවලියක් ලැබේ. නමුත් සුදු ආලෝකය H2 වායුව පිරවූ වීදුරු බල්බයක් තුළින් යවා අනතුරුව ප්‍රිස්මයක්/වර්ණාවලිමානයක් හරහා ගමන් කරවූ විට ලැබෙන වර්ණාවලියේ වැඩි ප්‍රදේශය වර්ණවත් වන අතර රතු, කොළ, නිල්, දම් යන වර්ණයන්ට අදාළව වර්ණවත් කලාප නොමැති බවත් ඒ වෙනුවට අඳුරු රේඛා 4ක් ඇති බවත් නිරීක්ෂණය විය.
මෙහි දී සිදු වී ඇත්තේ H2 වායුව විසින් අදාළ වර්ණයන් අවශෝෂණය කරගැනීම වන නිසා එම වර්ණාවලිය අවශෝෂණ වර්ණාවලිය නම් වේ.
H2 විමෝචන වර්ණාවලිය
H2 වායු සාම්පලයකට විද්‍යුතය හෝ තාපය වැනි ක්‍රමවේදයකින් ශක්තිය සැපයීමේ දී ඉන් යම් කිරණ විශේෂයක් නිකුත් වන බව නිරීක්ෂණය විය. මෙම කිරණ ප්‍රිස්මයක්/වර්ණාවලිමානයක් තුළින් යැවූ විට අඳුරු පසුබිමක රතු, කොළ, නිල් හා දම් යන වර්ණ සහිත රේඛා ඇති වීම නිරීක්ෂණය විය.
මෙහි දී සිදු වී ඇත්තේ H පරමාණු විසින් අදාළ වර්ණයන් විමෝචනය කිරීම වන නිසා මෙම වර්ණාවලිය විමෝචන වර්ණාවලිය ලෙස හැඳින්වේ.
H2 විමෝචන හා අවශෝෂණ වර්ණාවලි පැහැදිලි කිරීම
මේ සඳහා නීල්ස් බෝර් විසින් ශක්ති මට්ටම් සංකල්පය ඉදිරිපත් කෙරුණි.
පරමාණුවක න්‍යෂ්ටිය වටා ශක්ති මට්ටම් ඇති අතර යම් මූලද්‍රව්‍යයකට අනන්‍යව ඒ ඒ ශක්ති මට්ටමට අදාළ නිශ්චිත ශක්ති අගයයන් ඇත. e ඇත්තේ මෙම ශක්ති මට්ටම්වල වන අතර යම් ශක්ති මට්ටමකට අයත් eයක් දරා සිටින ශක්ති අගය වන්නේ එම ශක්ති මට්ටමේ ශක්ති අගය යි.
eවලට ශක්තිය අවශෝෂණය කරගනිමින් ඉහළ ශක්ති මට්ටම්වලට ගමන් කළ හැකි අතර ශක්තිය පිට කරමින් (විමෝචනය කරමින්) පහළ ශක්ති මට්ටම්වලට ගමන් කළ හැක. කෙසේ නමුත් එසේ අවශෝෂණය හෝ විමෝචනය කළ හැක්කේ අරමාණුවේ කිසියම් ශක්ති මට්ටම් 2ක් අතර පරතරයට සමාන ශක්ති අගයයන් පමණක්ම වේ.
මේ අනුව H පරමාණු සෑම විටම එකම වර්ණයන් කිහිපයක් අවශෝෂණය කිරීම හා විමෝචනය කිරීම ඉහත සංකල්පය මත පැහැදිලි කළ හැක.
H පරමාණු සාම්පලයකට ශක්තිය ලබාදුන් විට එහි 1වන ශක්ති මට්ටමේ ඇති e ශක්තිය අවශෝෂණය කරගනිමින් ඉහළ ශක්ති මට්ටම්වලට ගමන් කරයි. එය උත්තේජිත අවස්ථාවට පත්වීම ලෙස හඳුන්වයි. එසේ ඉහළ ශක්ති මට්ටම්වල පැවතීම අස්ථායී වන නිසා e යළි ශක්තිය පිටකරමින් පහළ ශක්ති මට්ටම් කරා පැමිණේ. එවන් අවස්ථාවක දී පරමාණූවක් තුල සිදුවිය හැකි විවිධ e සංක්‍රමණයන් පහත පරිදිය.