Cardio Vascular System Flashcards
(10 cards)
සංසරණ පද්ධතියක අවශ්‍යතාව
සත්ව දේහ තුළ ද්‍රව්‍ය පරිවහනය මෙන්ම බාහිර පරිසරය සමඟ ද්‍රව්‍ය හුවමාරුව සඳහා ද සත්වයන්ට සංසරණ පද්ධතියක අවශ්‍යතාව ඇතිවේ.
සරල සතුන්ගේ (නිඩාරියාවන්, පැතලි පණුවන්) පරිවහනයට හෝ ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා විශේෂිත වූ පද්ධතියක් නොමැත.
ඊට හේතුව වන්නේ ඔවුන්ගේ සෛල රාශියක් හෝ සියලු සෛල ඔවුන් ජීවත්වන බාහිර පරිසරය සමග සෘජුවම ගැටෙන නිසාය. එම ජීවීන්ගේ දේහ පෘෂ්ඨය හරහා විසරණය මගින් සිදුවන ද්‍රව්‍ය හුවමාරුව ඔවුන්ගේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත්ය. එම සතුන්ගේ දේහය තුළ කෙටිදුරක් හරහා ද්‍රව්‍ය පරිවහනය විසරණය මගින් සිදුවේ.
ජීවියා ප්‍රමාණයෙන් හා සංකීර්ණතාවයෙන් වැඩිවත්ම දේහය තුළට හා පිටතට ගමන් කරන ද්‍රව්‍ය ප්‍රමාණයද වැඩිවේ. දේහය තුළ ද්‍රව්‍ය පරිවහනය විය යුතු දුරද වැඩිවේ. එමෙන්ම බොහෝ සෛල බාහිර පරිසරය සමඟ ඍජුවම නොගැටේ.
එනිසා දේහය පුරා ද්‍රව්‍ය හුවමාරුව සඳහා විසරණය ප්‍රමාණවත් නොවේ. ඒ හේතුවෙන් එවැනි ජීවීන් තුළ ඔවුන්ගේ සෛල හා ඔවුන්ගේ ආසන්නතම වටපිටාව අතර ද්‍රව්‍ය හුවමාරුව සඳහා පරිවහන පද්ධතියක් පරිණාමය විය.
දේහය තුළ පරිවහනය වන ද්‍රව්‍ය
- ශ්වසන වායු - ඔක්සිජන්, කාබන්ඩයොක්සයිඩ්
- පෝෂක ද්‍රව්‍ය - ග්ලූකෝස, ඇමයිනෝ අම්ල, මේද අම්ල, විටමින ආදිය
- පරිවෘත්තිය අපද්‍රව්‍ය - යූරියා, ඇමෝනියා ආදිය
- හෝමෝන
- ප්‍රතිදේහ
සංසරණ පද්ධතියක සංරචක
සංසරණ පද්ධතියක් සතුව මූලික සංරචක තුනකි.
1. පේෂිමය පොම්ප කිරීමේ අවයවය - හෘදය
2. අන්තර් සම්බන්ධිත වාහිනී
3. සංසරණ තරලය - රුධිරය / රුධිර වසා
ප්‍රධාන වශයෙන් හෘදය මගින් ඇති කරනු ලබන පීඩනය හේතුවෙන් සංසරණ තරලය වාහිනී ඔස්සේ ගලා යයි.
දේහය පුරා තරලය පරිවහනය මගින් දේහ සෛලවල තරලමය පරිසරය, වායු හුවමාරුව සිදුවන, පෝෂක ද්‍රව්‍ය අවශෝෂණය කරන සහ අපද්‍රව්‍ය බැහැර කරන අවයව සමඟ කෘත්‍යාත්මකව සම්බන්ධ කරනු ලබන්නේ සංසරණ පද්ධතිය මගිනි.
විවිධ මට්ටම්වල වූ සංකීර්ණ සැකැස්මෙන් යුත් සංසරණ පද්ධති සත්ත්ව රාජධානිය තුළ දැකිය හැකිය.
සත්ත්ව රාජධානිය තුළ දැකිය හැකි ප්‍රධාන සංසරණ පද්ධති
සතුන් තුළ දැකිය හැකි සංසරණ පද්ධති වර්ග දෙකකි.
1. විවෘත සංසරණ පද්ධතිය
2. සංවෘත සංසරණ පද්ධතිය
විවෘත සංසරණ පද්ධති
පටක හා අවයව ඍජුවම රුධිර වසා ලෙස හැඳින්වෙන තරලයෙන් නැහැවෙමින් පවතින සංසරණ පද්ධති මෙසේ හැඳින්වේ.
එහිදී සංසරණ තරලය හා සෛල වටා ඇති අන්තරාල තරලය අතර වෙන්වීමක් නොපෙන්වයි.
හෘදය මගින් දේහ පටක වටා පිහිටන අවකාශයට (අන්තර් සම්බන්ධිත කෝටරක) සංසරණ වාහිනී ඔස්සේ රුධිර වසා පොම්ප කරයි.
දේහ සෛල හා රුධිර වසා අතර රසායනික ද්‍රව්‍ය හුවමාරු සෘජුවම සිදුවේ.
හෘදය ඉහිල්ව පවතින අතරතුර හෘදයේ කපාට සහිත පුට හරහා රුධිර වසා ආපසු ඇතුලට ගැලීම සිදුවේ.
මේ ආකාරයට විවෘත සංසරණ පද්ධති ආත්‍රොපෝඩා සහ මොලුස්කා (සමහර කාණ්ඩ) වැනි වංශවල පරිණාමය විය.
සංවෘත සංසරණ පද්ධති
රුධිරය වාහිනි තුළට සීමා වෙමින් අන්තරාල තරලයෙන් වෙන්ව පිහිටන සංසරණ පද්ධති වේ.
රුධිරය හෘදය/හෘද මගින් විශාල වාහිනී තුළට පොම්ප කරයි.
මේ විශාල රුධිර වාහිනී කුඩා වාහිනීවලට අතු බෙදී ඒවා අවයව තුළට විනිවිද යයි.
රසායනික හුවමාරුව රුධිරය සහ අන්තරාල තරලය අතර ද අන්තරාල තරලය සහ දේහ සෛල අතර ද සිදුවේ.
සමහරවිට මේ පද්ධති වල හෘද එකක් හෝ වැඩි ගණනක් දැකිය හැක.
ඇනලිඩාවන් වැනි අපෘෂ්ඨවංශිකයන් හා පෘෂ්ඨවංශිකයන් තුළ මේ ආකාරයේ සංසරණ පද්ධති දැකිය හැක.
මේ පද්ධතිය විවෘත සංසරණ පද්ධතිය හා සැසඳීමේදී වඩාත් ක්‍රියාශීලි සතුන්ගේ හා විශාල සතුන්ගේ සෛලවලට ඔක්සිජන් හා පෝෂක ද්‍රව්‍ය පරිවහනය ඉතා කාර්යක්ෂමව සිදුකරයි. ඊට හේතුවන්නේ සාපේක්ෂව ඉහළ රුධිර පීඩනයයි.
පෘෂ්ඨවංශික සංසරණ පද්ධතියේ සංවිධානය
සංවෘත සංසරණ පද්ධතියක් පෘෂ්ඨවංශිකයන්ගේ දැකිය හැකිය.
ප්‍රධාන රුධිරවාහිනී වර්ග තුනකි.
1. ධමනි
2. ශිරා
3. කේශනාලිකා
මේ සෑම නාල වර්ගයකම රුධිරය ඒක දිශාත්මකව ගැලීම පමණක් සිදුවේ.
හෘදයේ සිට අවයව කරා රුධිරය ගෙනයන රුධිරවාහිනි ධමනි ලෙස හැඳින්වේ. මේ ධමනි අවයව තුළදී කුඩා වාහිනී වලට බෙදී යයි. ඒවා ධමනිකා නම් වේ. එමගින් සවිවර තුනී බිත්ති සහිත අන්වීක්ෂීය වාහිනී වන කේශනාලිකාවලට රුධිරය මුදා හරින අතර විසරණය ඔස්සේ රුධිරය හා දේහ සෛල වටා ඇති අන්තරාල තරලය අතර ද්‍රාව්‍ය හුවමාරු වන ස්ථාන ද මේවා වේ. කේශනාලිකා එකට එකතු වී අනුශිරා සෑදේ. අනුශිරා එකතු වී රුධිරය නැවත හෘදය වෙත ගෙනයන ශිරා සාදයි.
ඒක සංසරණය
ඒක සංසරණයක් සිදුවීමේදී මුළු දේහය පුරාම සිදුවන පූර්ණ සංසරණයකදී රුධිරය හෘදය තුළින් එක් වරක් පමණක් ගමන් ගනී.
ඒක සංසරණය පෙන්වන සතුන්ගේ හෘදය කුටීර දෙකකින් සෑදී ඇත. එනම් කර්ණිකාව හා කෝෂිකාව වෙයි.
ඒක සංසරණයකදී දේහයේ සිට පැමිණෙන සාපේක්ෂව ඔක්සිජන් ඌන රුධිරය කර්ණිකාව වෙතටද ඉන්පසු කෝෂිකාවටද යැවේ. ඉන්පසු කෝෂිකාව සංකෝචනයෙන් රුධිරය ජලක්ලෝම තුළ ඇති කේශනාලිකා ජාලයට පොම්ප කරයි. එහිදී කේශනාලික හා බාහිර පරිසරය අතර වායු හුවමාරුවව සිදුවේ. තව ද එහි දී O2 රුධිරය තුළට විසරණයද CO2 විසරණය මගින් රුධිරයෙන් ඉවත්වීම ද සිදුවේ. ඉන්පසු ඔක්සිජන් වලින් පෝෂිත වූ රුධිරය දේහ පුරා සංසරණය වෙමින් රුධිර කේශනාලිකා ඔස්සේ දේහයේ සෛල වෙත ළඟාවේ.
උදා: අස්ථික මසුන්, කාටිලේජීය මසුන් (මඩුවා හා මෝරා බඳු)
ද්විත්ව සංසරණය
ද්විත්ව සංසරණයකදී මුළු දේහය පුරා සිදුවන පූර්ණ සංසරණයකදී හෘදය තුළින් දෙවරක් රුධිරය ගමන් ගනී.
එක් එක් චක්‍රය සම්පූර්ණ කළ පසු ඒවා ඔස්සේ හෘදය තුළින් ගලා ගලායන වෙන් වෙන්ව පවතින සංස්ථානික හා පුප්පුශීය සංසරණ පථවලින් ද්විත්ව සංසරණ පද්ධතියක් සමන්විතය.
උදා: උභය ජීවීන්, උරගයින්, පක්ෂීන් ක්ෂීරපායින්
උභය ජීවීන් හා උරගයින් රැසකට කුටීර තුනකින් යුත් හෘදයක් දැකිය හැක. එනම් අසම්පූර්ණ ද්විත්ව සංසරණ පද්ධතියකි.
කර්ණිකා 2ක් හා කෝෂිකාවක් වේ. මෙහිදී එම එක් කෝෂිකාව තුළ ඔක්සිජන් වලින් පෝෂිත රුධිරයේ සහ ඔක්සිජන් ඌන රුධිරයේ මිශ්‍රණයක් දැකිය හැක.
පක්ෂීන් සහ ක්ෂීරපායී සතුන්ට කුටීර හතරකින් යුත් හෘදයක් දැකිය හැකි අතර එය වම් සහ දකුණු පැතිවලට සම්පූර්ණව බෙදී ඇත. එනම් සම්පූර්ණ ද්විත්ව සංසරණයකි. මේ සැකැස්ම හේතුවෙන් ඔක්සිජන් ඌන හා ඔක්සිජන් පෝෂිත රුධිරය අතර පූර්ණ වෙන්වීමක් සිදුවී ඇත. මිශ්‍රවීමක් සිදු නොවේ.
ඔක්සිජන් ඌන රුධිරය සංස්ථානික සංසරණය ඔස්සේ දකුණු හෘත් කර්ණිකාව වෙතද ඉන් දකුණු කෝෂිකාවටද යැවේ. දකුණු කෝෂිකාවේ සිට රුධිරය පෙනහැළි තුළට පොම්ප කරයි.
පෙනහැලිවල ඇති ඔක්සිජන් වලින් පෝෂිත රුධිරය වම් කර්ණිකාවට ළඟා වේ. ඉන් පසු වම් කෝෂිකාවට යැවෙන ඔක්සිජන් වලින් පෝෂිත රුධිරය සංස්ථානික සංසරණයට එක්කරයි.
සංස්ථානික සංසරණයේදී හෘදය මගින් ඇති කරනු ලබන අධික පීඩනය හේතුවෙන්, දේහයේ සියලුම දේහ සෛල හා පටක, විශේෂයෙන් පේෂි, මොළය ආදී අවයවවලට රුධිරය සැපයීම ද්විත්ව සංසරණය මගින් වඩාත් කාර්යක්ෂමව සිදු කරයි. මෙය ඒක සංසරණය හා සංසන්දනය කිරීමේදී ඒක සංසරණයේදී වායු හුවමාරු අවයවවල සිට අනෙක් අවයවවලට අඩු පීඩනයක් යටතේ රුධිරය ගලා යයි.
මානව රුධිර සංසරණ පද්ධතියේ මූලික සැලැස්ම